උඩුපිල ආච්චී සහ සීයා

 

උඩුපිල ආච්චී වන දෝන මැගිලින් නෝනා නොහොත් මැගී නෝනා, ගමේ නෑයින් හඳුන්වන පරිදි කොළඹ අක්කා (1908.11.15-1999.01.30) වික්‍රමසිංහ ආරච්චිගේ දොන් එලාරිස් හෙවත් ගැමියන් හඳුන්වන පරිදි ලියන මහත්තයා (1898 - 1965.10.17) 

Dona Magilin Nona & Wickramasinghe Arachchilage Don Elaris







නිශාන්ත වික්‍රමසිංහ විසිනි

පවුලේ සතරවැන්නා වූ උඩුපිල ආච්චී වන දෝන මැගිලින් නෝනා නොහොත් මැගී නෝනා, වික්‍රමසිංහ ආරච්චිලාගේ දොන් එලාරිස් හෙවත් සීයා සමඟ විවාහ වූ කතාව රසවත් එකකි.

 උඩුපිල ආච්චිගේ (මැගිලින්/මැගි නෝනා) තාත්තා වන දොන් ජේමිස්, ඔහුගේ කොන්තරාත් වැඩ හා ව්‍යාපාර සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය ණයට රැගෙන ගොස් ඇත්තේ උඩුපිල සීයා වන දොන් එලාරිස් ගෙන්ය. පසුව ක්‍රමක් ක්‍රමයෙන් එම ණය ප්‍රමානය වැඩිවීම නිසා ඒ ගැන විමසීමට උඩුපිල සීයා (දොන් එලාරිස්) දොන් ජේමිස් ව හමුවීමට ඔහුගේ ගෙදරට ගොස් ඇත. එහිදී සීයාට ආච්චීව පළමු වරට හමුවී ඇත. සමහරු කීවේ සීයා ඒ ගෙදරට එන අවස්ථාවේදී ආච්චී රෙදි සෝදමින් සිටි බවයි. තවත් සමහරුන්ට අනුව ගෙදරට පිවිසි සීයාට මුලින්ම හමු වුනේ ආච්චී බවය. තවත් කතාද ඇත. ඒ කෙසේ වුවත් ඒ ගමනේ අවසාන ප්‍රතිපලය වුයේ මට ලැබීමට ඇති ණය මුදල් ඕනෑ නැහැ. මට මෙයාව කසාද බන්දලා දෙන්නකියා සීයා එදින එතන දීම තම අනාගත භාර්යාව තෝරා ගනු ලැබීමය. (fall in love at first site). 

 මුහුණ වල ගැසෙන අච්චීමා සමග කියා සිටියේ,විවාහයට පෙර සීයාට සමහරුන් කියා තිබුනේ මූහුණ වල ගැසෙන ගෑනුන්, කණවැන්දුම් වන බවත් එහෙයින් මෙම මඟුල නොකරන ලෙසත්‍ ය. එම උපදෙස සීයාට දී ඇත්තේද ආච්චිගේ ගෙදරදීම වීම විශේෂයකි. ගෙදර ගිය සීයා, එදිනම සවස ආච්චීට කවියක් ලියා එවා තිබූ අතර, එහි යටම කවි පදය යට ඉරක් ගසා විශේෂණයක් කර තිබුණි.. 

පැරණි උපදෙස් කවියක් වන එහි යටම පේලියේ තිබුනේද කණවැන්දුම් වන්නා වූ මුහුණේ කම්මුල වල ගැසෙන ගෑනුන් සරණ පවා නොගන්නා ලෙසටය. කිසිදිනකත් සරණ පාවා නොගනින් කම්මුල වල ගැසෙන කතුන්වලට සමාන අවසන් පදයක් ඇති, ආච්චී විසින් කියූ එම කවිය එකල මට පාඩම්‍ ය.

 වික්‍රමසිංහ ආරච්චිලාගේ දොන් එලාරිස් හෙවත් ලියන මහත්තයා සමඟ විවාහ වූ දෝන මැගිලින් නෝනා යන දෙපොළයට පිලිවෙලින්,

ජයවතී (ලොකු නැන්දා 1927.01.06 - 1975.01.16),  ප්‍රේමසිරි (1928.08.20 - 2008.08.18), සෝමසිරි (1931.04.09 - 2020.08.02), ගුණසිරි (1933.12.12 - 1997.09.02), විමලාවතී (බන්ටී 1935.12.09), කිත්සිරිවතී (උක්කුං 1937.12.31), තමල් කේසවතී (1940.02.26), බන්දුසිරි (1943.04.16),  චන්ද්‍රා ශ්‍රිමතී (1945 .01.24, අමරසිරි (1947.04.03 ), පියසිරිවති (නෝනා 1949.11.16), විජයසිරි (1952.04.20) යනුවෙන් දරුවන් දොලොස් දෙනෙක් ලදහ.

 

 




සීයාගේ නම සඳහන් වැඩිමල් පුත්‍ර පේමසිරිගේ උප්පැන්න සහතිකයෙන්


 

අමරසිරි වික්‍රමසිංහගේ මගේ ජීවිත කතාවේ උපුටන (සංස්කරණයට පෙර)








[09:48, 12/11/2020] විජයසිරි වික්‍රමසිංහ(බාප්පා):  අමර අයියා, අම්මා මට කිව්වා අපේ තාත්තා Tied Waiter නිලධාරියෙක් කියලා. ආනයන භාණ්ඩ පරීක්ෂා කිරීම සහ තීරුබදු ගෙවීම පිළිබඳ වගකීම ඔහු සතුය. මෙම තනතුර තවමත් වරායවල ඇත. ඇය මට කීවා අපේ පියා පසුව Telejeriya සේවය කළ බව.


[10:14, 12/11/2020]
අමරසිරි වික්‍රමසිංහ (බාප්පා): මගේ තාත්තා පිළිබඳ කතාවේ අඩු පාඩු කීපයක් කීවා ඉන් එකක් වන්නේ තාත්තා අසනීප වූවේ 1949 නොව මල්ලීත් උපන්නාට පසුව බව. අනිත් කරුණ තාත්තාට බෙහෙත් කළේ වික්‍රමාරචිචි වෙදමහතා බව. අනිත් කරුණ බාප්පලා සහ අපේ පවුල එකම බත්හැලිය ඉවූ බව. මේ අඩු පාඩු කීවේ උක්කුන් (කිත්සිරිවතී) අක්කා








උඩුපිල ආච්චී බොහෝම කුඩා කළ ආච්චී අපට නෑමට නාන ලිඳට රැගෙන යයි. එකිනෙකාගේ පිටෙහි කුණු අතුල්ලන්නේ නිකම්ම නොවේ-විවිධ අවවාද අනුශාසනා කරමින් ය. ආච්චී තම මුණුබුරන්ට එක ම සෙනෙහසින් සැලකූවාය. අපට වඩා කුඩාවුන් නැලවිලි ගීත කියමින් නලවද්දී මාවත් එලෙස නලවන්නට ඇති බවට කල්පනා වේ. නාන ලිඳෙන් වතුර ගැනීමේ දී පනිට්ටුවේ මාළුන් සිටිය හොත් එම වතුර පනිට්ටුව නැවත පොකුණ ට දැමීම සිරිතය. අප මාළුන් දෙස මදක් බලා සිට නැවත එම වතුර පොකුණට දමනු මතකය. පොකුණේ මාළුන්ගේ හැසිරීම නැරඹීම විනෝද ජනකය. 

වරක් නෝන නැන්දා හවසක හාල්මැස්සන් රැගෙන අවාය. එවා ගෙනත් වහාම තැබුවේ පරණ මහගෙදර කෑම කාමරයේ ය. මම ඉන් කීප දෙනෙක් සොරා ගෙන පරණ ගෙදර කාමරයේ ජනේල ගැට්ට උඩ සැඟවූයේ පසුවදා නාන ලිඳට රැගෙන ගොස් උන් ව වතුරට දමා පීනන අයුරු නැරඹීමටය. හාල්මැස්සා කුඩා වුවත් කුඩා මට එය තරමක ලොකු මාළුවෙකි-ලිඳේ සිටින්නේත් ඊට සමාන මාළුන් ය. අනෙක් අයට නො දැනෙන්න රැගෙන යා යුතු හෙයින් මාළුන් නාන ලිඳට රැගෙන යාමට නොහැකි විය. දින දෙක තුනක ට පසු නිවසින් කුණු ගඳක් හමන්නට විය. ආච්චී ඇතුළු අපි සියළු දෙනා ම ඒ ගඳ එන්නේ කොහෙන්දැයි සොයන්නට පටන් ගතිමු. මා ද ඒ අතර විය. අවසානයේ දී කවරෙකු හෝ විසින් ගැට්ට මත ඇති හාල්මැස්සන් ටික සොයා ගන්නා ලදී. මාළුවන් එතන තැබූ බව මට මතක් වූයේ එවිට ය. එය පූසෙක් විසින් කරන ලද්දැක් යයි ආච්චී කියා සිටියා ය. එම සිද්ධිය පුසාට බැර විය. 

 ආච්චී පරණ මහ ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වී සිටීම සිරිතය. එහි කෙටි බැම්මට එපිටින් මිදුලේ අප සෙල්ලම් කරන ආකාරය බලමින් සිටියි. ආච්චීට හොඳට පන් වියමන් කිරීමට හැකි ය. එම කොළ වේලා තම්බා පදම් කොට පැදුරු වට්ටි ආදී දේ ඉතාමත් සීරුවට වියන්නී ය. එසේ වියමන් කළ බෑග පොලේ බඩු ගෙන එන්නට භාවිතා වුණි. පන් තීරු වර්ණ කොට (ඒවා කළේ කෙසේ දැයි මතක නැත-වර්ණ ගන්නනවා මතකය. පාටක් එක්ක තම්බනවාද ද යන්න මතක නැත) ඒවා කහ පන් තීරු සමඟ වියා විවිධ රටා මවන්නී ය. අප නිදාගැනීමට භාවිතා කළේ එම පැදුරුය. 1977 චන්ද ප්‍රතිළුල (නව නිවස) ඉස්තෝපුවට යාව කාමරයේ සිට රේඩියෝවෙන් අප ඇසුවේ එම පැදුරුවල වාඩි වී සිටය. කුඩා අප ප්‍රථිපල කියද්දී අත්පොඩි ගසමින් විනෝද වන්නේ දේශපානය ගැන මොකුත් නො දැන ය. පිටුපස කාමරයේ සිටින ආච්චීට ඇසෙන්නට කෑ ගසන්නට-විනෝද වන්නට එපා යයි අවවාද ලැබෙන්නේ ආච්චී නියම ශ්‍රී ලංකා පාක්ෂිකාවක් වූ හේතුවෙන් විය හැකිය. ආච්චි මැහුමට ද සමත් ය. මහන මැෂිමේ ඉඳිකටුවට සහ අතින් මහන ඉඳිකටුවට බොහෝ වාරයක් අප නූල දමා දී ඇත. 

 නැන්දා කෙනෙකුගේ විවාහ යෝජනා හෝ විවාහයක් කරවීම ගැන (නෝන නැන්දා ගැන විය යුතු ය) කථා බහක් මතුව සිටියේ දී මටත් ඕක කියන්නකෝ යයි විජය බාප්පා සිනා සෙමින් කීවේ ය. ඉතින් උඹත් බැඳහංකො යයි ආච්චී කීවා ය. විශ්ව විද්‍යාලයකට යාම පහසු නො වන බව ද, ඒ සඳහා මහන්සි විය යුතු යයි කියමින් ගංගා අක්කා සහ තුල්සි අයියා විශ්ව විද්‍යාලයට යාම සඳහා මහන්සි වූ ආකාරය දක්වමින් ආච්චී අප ව නිතරම දිරිමත් කළා ය. විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරනු ලබන ආකාරය ගැන ආච්චීට මනා අවබෝධයක් තිබුණු බව කිව යුතු ය. අළුත් ගෙදර මිදුලේ ඉදිරියේ පැත්තක කබොක් ගල් මත විශාල හැළියක් තබා දර දල්වමින් අප අල ඇට තම්බද්දී ඒවා තැම්බෙන තෙක් ලිප වටා යමින්-නටමින් කළ ගීත ගැයීම-ඇසීමට ආච්චී මහත්සේ ප්‍රිය කළාය. දන්නා ගීත කොටස් අවසන් වූ පසු ගීත නො නවත්වා ම තම්බන ලෙස ඇය ඉල්ලා සිටියි. පැලඳ කටු ගස්තාන-අපට නබ්බු ව ගේන-අපේ ආරච්චී මැතින්දා වීරයා...මුවන්පැලැස්සේ ගීතය ට ඇය මහත්සේ කැමතිය. එකළ සෑම චිත්‍රපටයක් ආ පසු එහි කුඩා ගීත පොත් විකුණන්ට ඇත. ඉතින් අපට මතක ඇත්තේ කාලීන චිත්‍රපට ගීතය. හුලංකීරිය අලගස් සිටුවා තිබුණේ පේළි වශයෙනි. වරක් ආච්චීගේ ඉල්ලීම පරිදි අල ගැලවීමට සිදුවිය. හුලංකීරිය අල උදැල්ලෙන් උගුල්ලමින් අලය ඉවත් කර පැත්තකට දමන මම, ඒ සමඟම ඒවා සිටුවා දමමි. එබැවින් වැඩේ ප්‍රමාද වේ. අල තම්බා කෑමේ උනන්දු වූ අයෙක් (කවුරුන් දැයි මතක නැත-පාලිකා විය යුතු ය) අල ගැලවමේ ප්‍රමාදය ගැන මැසවිලි නැගුවේය. හිටහල්ලකො-ඒ ළමයා ඊලඟ පාරටත් කන්න තමයි අල ගලවන්නේ යයි ආච්චී කෑ ගැසීය. ඉන් පෙන්වන්නේ ආච්චීගේ නිරීක්ෂණ හැකියාවයි. 

 දරුවන්ගේ දරුවන්ගේ හඬ ඇසීමට ආච්චී කැමතිය. වරක් ආච්චී මහර අපේ ගෙදර සිටියාය. කාඩ් ක්‍රිඩා කිරීමට ඇය ඉතා මහත් සේ ප්‍රියය-ඉන් ඇය නොමද විනෝදයක් ලැබුවාය. 1996 වසරේ දිනක නෝන නැන්දලාගේ ගෙදර ඇඳේ සිටින ආච්චීට කථා කිරීමට බොහෝ කළකට පසු මට අවස්ථාවක් ලැබුණි. එවිට ආච්චීගේ පෙනීම දුබලව තිබුණි. මාව හඳුනන්නේ දැයි ඇසිමි. ඇය එක් වරම කීවේ දෙවනියා නේ යන්නයි. ඒ ආච්චීගේ ශභ්ද විභේදනය හඳුනා ගැනීමේ හැකියාවයි. (මා බිම් දුරකතනයෙන් කථා කරන විට මේ නිශාන්ත දැයි බොහෝ අය අසන-විමසන අවස්ථා ඇත) 

 න.දී.


සීයා දිනපොතේ කොල ලියන ලද කේන්ද්‍රයක්



සීයා දිනපොතේ ලියන ලද මන්ත්‍රයක්



සීයාගේ රැවුල කැපීමට භාවිතා කළ බුරූසුව



සීයාගේ අකුරු




අමරසිරි වික්‍රමසිංහ විසිනි 2021.01.25

මගේ ජීවිත කථාව - සංස්කරණයට පෙර


[8:21 AM, 1/26/2021] විජය බාප්පා:

 මේ කවි පන්තිය (කවි - දෙවන පරපුරේ මතක පිටුවේ) කියවන විට අම්‍මා ගැන මතක් කර ඇති කිප තැනකදී ම  මගෙ ඇස් වල කඳුළු පිරුණා. මේ ලියන්නෙත් කදුඑ පිරි දැසින්. එක දවසක් අපේ ගෙදරදි අම්මාව මම වත්තන් කරගෙන වැසිකිලියට ගෙනගොස් ඊට පසු සේදුවා. එවිට අම්මා කිවා පුතේ උබ බුදු වෙයන් කියලා. මේක තාමත් මගෙ හිතේ රැව් පිළිරැව් දෙනවා




ආච්චීගේ නැගණිය




No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි