න.දී.වික්‍රමසිංහ (ප්‍රේමසිරි වික්‍රමසිංගේ දෙවන පුතා)
බස් පෙරලූ ආර්.ආර්. සමරකෝන් අංකල් සහ අපේ පියා.
ආර්.ආර්. සමරකෝන් අංකල් අපේ තාත්තා සමඟ ටවුන්හෝල් අසල යුනියන් පෙදෙසේ පිහිටා තිබූ සමූපකාර තොඟ වෙලඳ සංස්ථා(ස.තො.ස.) මූලස්ථානයේ මාණ්ඩලක අංශයේ භාෂා පරිවර්තකයින් ලෙස සේවය කළෝය. පරිවර්තකයින් සිටියේ මේ දෙදෙනා පමණක් වන අතර, මාණ්ඩලික රැස්වීම්වල වාර්තා ඇතුළු බොහෝ කාරණා සිංහලෙන් ඉංග්රිසියට ද, ඉංග්රිසියෙන් සිංහලට ද ලේඛණ පරිවර්ථනයේ යෙදුණි. 1950 වසරේ දී බණ්ඩාරනායක මහතා විසින් සතොස ඇති කළේ මහජන සේවය පිණිස සමූපකාර සමිතිවලට තොග වෙලඳාම කිරීම ය. සතොස ලක්ස්ප්රේ, මොටර්ස්, පරිගණක, එංජිනේරු, ප්රින්ටර්ස් (පසුව මෙම අංශ පෞද්ගලිකරණය/සමාගම් කරන ලදී) ආනයනය - අපනයනය, ආහාර මෙන් ම විදුලි උපකරණ, ලිපි ද්රව්ය, ක්රීඩා භාණ්ඩ, රෙදිපිළි යනාදී වශයෙන් අලෙවි සහ සේවා කාර්යයේ සතොස නිරත විය. සතොස විසින් වැඩිපුර ආයෝජනයක් කර ඔබ්රෝයි හෝටලයක් ද ලංකාවේ ආරම්භ කරන ලදී. අග්නිදිග ආසියාමේ විශාලතම අලෙවි ප්රවාහන ජාලයට හිමිකම් කීවේ මේ සතොසයි. බණ්ඩාරනායක මහතාගේ දියණිය විසින් අත්සන් කළ කැබිනට් පත්රිකාවකින් කණගාටුදායක ලෙස මෙකී සතොස ඈවර කරනු ලැබිණ.
[17:13, 15/11/2020] අමරසිරි වික්‍රමසිංහගේ මතක් කිරීමක්. සමරකෝන් ලියපු "එක් සභ්‍යකතාවක්' නවකතා පොතේ අයියාගේ සහ ගුනසීලි අක්කාගේ ඇත්තම නම් සඳහන්ව සත්‍ය අත්දැකිම් ඇසුරෙන් චාරිකාවක් ගිය සඳහනක් විය.
අපේ දෙමව්පිය විවාහ පිංතූරයක පසුබිම.
මේ අපේ (මහර, වික්‍රමසිංහ පවුලේ) දෙමව්පියන්ගේ විවාහ දින ඡායාරූපයි. අම්මාගේ දෙවන මහ ගෙය, එනම් මාතර සිට
පැමණි පසු සිටි පානදුරේ නිවසේ ( සිසිකැළුම් නිවස?) දී ගත් ඡායාරූප වේ. බිත්තියේ ඇති ඡායාරූපයේ
සිටින අම්මාගේ අක්කා, පුණ්‍යාගේ (සුදු ලොකු අම්මා) පාසල් ඡායාරූපයක් පසුබිමින්
වෙයි. පුහුණු ඉංග්‍රිසි ගුරුවරියක් වු ඇය ගල්කිස්ස උසස් බාලිකාවේ සිට විශ්‍රාම
ලැබුවාය. 2020 වසරේ මුල ඕස්ට්‍රේලියාවේ දී සැමරූ 60වන විවාහ සංවත්සර අවස්ථාවේ දී
ගත් ඡායාරූපයක් දකුණින් ඉහළට වෙන්න ඇත. 2019 ලංකාවට පැමිණි විට ඇගේ උසස් බාලිකා ආදී
ශිෂ්‍යාවෝ උපන් දින සාදයක් සහ ගීත පැදුරක් ඇය වෙනුවෙන් සංවිධානය කළෝය.
මහගෙදර තිබූ බිත්ති ඔරලෝසුව සහ කළු සායම් ගෑ කණප්පුව (ඊට මාතර ඈයෝ මොන නමින් අමතනවාදැයි නොදනිමි) ද පසුබිමින් දක්නට ඇත. මේ දෙකම අපේ මහර ගෙදර
තිබුණේය. ඔරලෝසුව වරක් කැඩී දෙවනි අයියා (අම්මාගේ ලොකු අක්කාගේ දෙවනි පුතා
රෝහණ-විශ්‍රාමික ඇඟිළි සලකුණු අංශයේ ප්‍රධානී. අපරාධ විමර්ශන අංශය) විසින් සාදා
දෙන ලදී. එම “ශෛල්‍ය කර්මය” සිදුවන ආකාරය දෙස අපි බලා සිටියෙමු.
කණප්පුව පසුව, මා සිටි කාමරයේ බුදුන්ගේ මල් පහන් තැබීම සඳහා භාවිතා කරන ලදී. ඊට ඉහළින් බිත්තියේ අම්මාගේ
පවුලේ උරුමයක් වූ ධාතු කරඬුව සහිත පෙට්ටිය (බුදුගෙය) සවිකරනු ලැබ තිබිණ.
න.දී. (මහර, දෙවනියා)
උඩුපිල ආච්චී සිට...
උඩුපිල ආච්ච් 1980 දශකයේ අග මහර අපේ ගෙදර කලක් සිටියා ය. සැම දරුවෙකුගේ ම නිවෙස්වල ආච්චීව කාලයක් තබා ගැනීමේ පවුලේ තීරණය ට අනුව එසේ සිදුවිය. ආච්චීට අප සමඟ විනෝදයෙන් ගත කළ බව මගේ විශ්වාසයයි. ආච්චී වඩාත් ප්‍රිය කළේ කාඩ් සෙල්ලම් කිරීමටය. ඉතාමත් සතුටින් ආච්චි ක්‍රීඩාවෙහි නිරත විය. ඇය ඉන් නොමඳ ප්‍රීතියක් ලැබුවාය. කාඩ් අත අල්ලගෙන සිටින විට ආච්චිගේ එක් අතක වූ අතෙහි ඇඟිලිවල ඇති වෙනස පෙනෙයි.
අපේ ගෙදර තිබුනේ ඉඳි වැසිකිළියකි. එහි කොමඩ් එකක් නැත. ආච්චී වෙනුවෙන් හංසක අපූරු නිර්මාණයක් කළේය. ඇඳි පුටුවේ වේවැල් දාමයේ මැදින් කපා ඉවත්කොට ලී වලින් සැකසූවකි එය. එය ඉඳි පෝච්චියට ඉහළින් තබනු ලැබේ. ආච්චීට අවශ්‍ය වෙලාවට එය වැසිකළියට රැගෙන යාමට සහ ඉවත් කිරීමට කාට හරි සිදුවේ. හංසකගේ මෙම සැලකිල්ල වූයේ ආච්චීට පමණක් ම නොවේ. සෝමසිරි බාප්පා තුවාල වී මහර ගෙදර සිටි කාලයේ දෛනික තෙල් සාත්තුව පරිපූර්ණ ලෙස සිදුකළේ හංසකය. එක් සාත්තුවකට සෑහෙන කාලයක් ගතවේ. එසේම ඉවසිල්ලෙන් සහ නියම අකාරයෙන් එය සිදුකළ යුතු ය. මෙම සත්කාරය පිළිබඳව බාප්පා පසු අවස්ථාවල දී නිතර කෘතඥතා පූර්වකව සිහිපත් කළේය-ඒ බොහෝ විට සිදු වූයේ දොඩන පානය ගත් විට දී ය.
හංසකගේ මේ උවටැන් කිරීමේ හැකියාව වඩාත් ම හිමිවූයේ අපේ අම්මාටය. නිතර අසනීපවන එකළ අපේ අම්මාගේ කටයුතු තාත්තාගෙන් පසුව වැඩිමනක් ම කළේ හංසකය. බෙහෙත් පෙවීම ද, තාත්තා වැඩ අවසන්ව ගෙදරට එන තෙක් අම්මාව බලා ගැනීම සුළුපටු කාර්යයක් නොවේ. හංසක එදා කළ සමහර දේ මා දැනට කරන ගුරු වෘත්තියේ දී ද ළමුන් වෙනුවෙන් අනුගමනය කරනු ලැබේ. ඔය ළමයි ඒක්ක වැඩ කරන්න පුළුවනි දැ යි බොහෝ අය මගෙන් විමසති. එහෙත් ඒ හැකියාව අපේ ගෙදරින්ම ලැබී තිබිණ. අධ්‍යාපන අමාත්‍යංශයෙන් හොඳම ගුරුවරු ඇගයීයමට ලක් කිරීමට ඉල්ලුම් කිරීම වරක් අනිවර්ය කිරීම නිසා මා ද ඉල්ලුම් කිරීමෙන් ඒ වසරේ උසස් පෙළ විද්‍යා විශයන් රහිත පාසල් කාණ්ඩයෙන් (සී ගණයේ පාසල්) හොඳම ගුරුවරයා ලෙස උපහාර ලැබිම තෙක් එය ඉවහල් විය. මා කරන ගුරු ක්ෂේත්‍ර යේ ගුරුවරුන්ගෙන් දැනට ඒ තත්වය ලබා ගත් එකම ගුරුවරයා ද මම වෙමි. (එක් වරක් ගත්තාම මදැයි-අනෙක් අයටත් අවස්ථාව එපැයි.)
උඩුපිල ආච්චී අපේ ගෙදරින් ගොස් ටික කාලයකට පසුව සෞදියේ වැඩ කළ සොයුරා (නිශාන්ත) ආච්චීට රෝද පුටුවක් එව්වේය. එහි රෙක්සිනයේ පොඩි කොටසක පළුද්දක් තිබෙන බව ද, නැවත මුළුමනින්ම රෙක්සින් කරන ලෙස ද සොයුරා උපදෙස් එවා තිබුණි. එහෙත් එම සුළු පළුද්ද වෙනුවෙන් සම්පූර්ණයෙන් ම රෙක්සින් කිරීමෙන් මුල් නිමාව ගැනීමට නොහැකි වන නිසා අනෙක් අයගේ ද නිරීක්ෂණ මත එය නොකරම ආච්චීට රෝද පුටුව භාර දුනිමි.
න.දී.
විජය බාප්පාගේ යෝගී සහ අපි.
විජය බාප්පා යාපනය විශ්ව විද්‍යාලයට යන කාලයේ දී නිවාඩු ව ට උඩුපිල මහ ගෙදර ට පැමිණි විට ඉදිරිපස කාමරයේ සිට යෝගී ව්‍යායාමවල යෙදෙනු අපි දැක ඇත්තෙමු. (එම කාමරය බොහෝවිට හිස් ව පැවතුණි) ඊට ආසන ගණනාවක් ම අයත් විය. අප ද සරමින් කැහැපොට ගසාගෙන ඒවා අනුකරණය කරමින් කරන්නට උත්සාහ කළෙමු. ශීරෂායසනය හෙවත් ඔළුවෙන් හිට ගැනීම, මයුරාසනය වැනි අපහසු ආසන ඔහු විසින් කරද්දී ද අපේ උත්සාහයන් වැරදී බාප්පා ඉදිරියේ දී ම බිම ඇද වැටීම සාමාන්‍ය දසුනක් විය. ඊට මනා පුහුණුවක් විය යුතු ය. බාප්පා ඉතා මනා ව සහ ඉතා නිවරදි ව එම අභ්‍යාසවල යෙදුණි.
අපි ගෙදරට ආ පසු වරින් වර ඇඳමත සිට කොට්ටයට හිස තබා බිත්තියට වාරූ වෙමින් ඔළුවෙන් හිට ගැනීම ට වෑයම් කෙළෙමු. මා හට යම් තරමක් ඔළුවෙන් හිට ගැනීම ට හැකි වූ අතර, හංසක ට මයුරාසනය කිරීම ට හැකි විය. මයුරාසනයට මනා සමබරතාවයක් සහ සංයමයක් අවශ්‍යය ය-වැරදී ගියයොත් වැටී, මුහුණ හෝ නාසය වැදීමට ලක් විය හැකිය. දෙ අල්ල (ඇඟිලි පාද පැත්තට) බිම තබා දෑතේ ඉහළ භාහු වැලමිට තෙක් පපුවට තදවෙන පරිදි සහ ඒ මත සිටින පරිදි කඳ පොලොවට සමාන්තර ව (නමුත් හිස් මදක් පහළට සහ පාද තරමක් හිස මට්ටමින් ඉහළට සිටින පරිදි) මොණරෙකු සේ සිටීමක් මයුරාසනයෙන් සිදුවේ. එය අපගෙන් කළ හැකි වූ යේ පවුලෙන් හංසකට පමණි.
පසුව මට හමු වූ පොතකින් යෝගී ගැන කියවීමට හැකි වූ අතර, ශරීරයේ සියළුම ආවරණය වන විනාඩි තිහක කාලයක් දිනපතා ම නිරත විය හැකි යෝගී ආසන කාලසටහනක් එහි දක්වා තිබුණි. විනාඩ් 3,4 සහ 5 වශයෙන් අනු පිළිවෙලක් සහිතව ආසනවල යෙදිය යුතු ය. පද්මාසනය, මීලඟට සීතාලිවලින්(ස්වසන අභ්‍යාසයකි) පටන් ගෙන මුණින් වැතිර දෑත සහ පාද දෙපසට විහිදුවා ස්වසන ගැනීමෙන් හෙවත් ශරීරය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරිම තෙක් ආසන එහි යෝජනා විය. මට පද්මාසනයේ පාද ඒ අයුරින්ම අමුණා ගැනීමට නොහැකිය-එහි ඊට පාද තබා ගත හැකි විකල්ප ආකාර දක්වා තිබුණි. එහි මයුරාසනය වෙනුවට එහි ගුණ ඇති වෙනත් ආසන ද දක්වා තිබුණි. මේ අනුව මම හැකියාව ලැබෙන පරිදි එම ආසනවල යෙදුනෙමි. අමතරව වකුගඩු /මුත්‍රා පද්දතිය වෙනුවෙන් උදෑසන හිස් බඩ සහ “බෙඩ් චූ” එකෙන් පසුව කළ හැකි ඉතා පහසු අභ්‍යාසයක් ද එහි සඳහන් විය.
නිවසේ පැදුරක සිට කරනවාට වඩා මිදුලේ නැවුම් වාතාශ්‍රය සමඟ ආසනවල යෙදීම සුදුසු වූයෙන් මගේ ශරීරයේ ප්‍රමාණයට තණකොළ බිස්සක් ද පිඩළි දමා වත්තේ සකසා ගතිමි. ඔළුවෙන් සිට ගැනීම මෙන් ම, එම ආසනය සමඟ කළ යුතු පාද දෙපසට පැද්දීමට ද මට හැකි විය. ශීර්ෂායසනය හැකි වූ යේ අපේ අයගෙන් මාහට පමණි. මේවා කිරීමට උනන්දුවක් සහ පෙළඹවීමක් ඇති වූයේ විජය බාප්පාගේ ක්‍රියා නීරීක්ෂණය හේතුවෙනි. එබැවින් මා ද තවමත් හැකියා ව ලැබෙන පරිදි පාසලේ දී සිසුන ට ශීර්ෂායසනය කර දක්වමි. පිරිමි සිසුන් එවලේ දී ම කරන්නට ගොස් එදා අප එදා බිම ඇද වැටණාක් මෙන් ඇද වැවෙන අතර, ඒ සඳහා පුහුණු කළ යුතු අනු පිළිවෙල ගැන මම ඔවුනට පහදා දෙන්නෙමි. මෙය යම් තරමකින් අධ්‍යාපනයේ ආරෝපන න්‍යායයට සම්බන්ධය.
න.දී.
2020.11.08
No comments:
New comments are not allowed.