උඩුපිල අත්දැකීම්



 

උඩුපිල අවුරුදු

 තම නිවෙස්වල කෙරෙන අවුරුදු චාරිත්‍රවලින් පසු පවුලේ සියළුම දෙනා ඇදෙන්නේ උඩුපිල මහ ගෙදරටය. ආච්චීට බුලත් දීම මූලිකව සියළුම නෑයින් එකතු වීම එසේ සිදුවේ. හිසතෙල් ගෑම බොහෝවිට සිදුවූයේ උඩුපිල දී ය.

 මහගෙදරට එකතුවන හැමෝටම කරන්නට දේවල් බොහෝ ඇත. එයට වසස් භේදයක් තිබුණේ නැත. පංච දැමීම ආච්චීගේ මුලිකත්වයෙන් කෙරුණු ක්‍රීඩාවක් විය. ඊට බොහෝවිට කාන්තා පාර්ශවය සහ සියළුම පොඩිඋන් සහභාගී වූහ. මිදුලේ කාඩ් සෙල්ලම් කිරීම පිරිමි අයගේ මූලිකත්වයෙන් සිදුවිය. කැරම් ගැසීම ද ඒ අතර සිදුවිය.

 එම දිනවලදී උඩුපිල නිවස විවිධ කතාබහින් සහ සිනහ භඬින් පිරී ඉතිරී යයි. ඉහළ ශභ්දයකින් කතා කිරීම සහ සිනාසීම උඩුපිල හැමෝට ම උරුම ය. වරින්වර ඉහළින්ම අසෙන ගුණසිරි බාප්පාගේ සහ අමර බාප්පාගේ සිනා හඬ තවමත් අප දෙසවන් තුළ දෝංකාර දේ. මෙහි දී විවිධ කරුණු ද සාකාච්ඡා වේ. අසූ ගණන්වල හෙල්මට් අනිවාර්ය කිරීම කතාබහක දී හෙල්මට් දාන්නට කියන්නේ මිණිය හඳුනා ගැනීමට හිස ඉතුරු වීමට බව ගුණසිරි බාප්පා කියා මහ හයියෙන් සිනාසුනේය - එකළ කොපමණ මොටර් සයිකල් අනතුරු සිදුවී ද යත් කොළම මහ රෝහල් හදිසි අනතුරු වාට්ටුව නම් කෙරුනේ හොන්ඩා වාට්ටුව ලෙසයි. හැත්තෑ අසූව ගණන්වල දුම් පානය සාමාන්‍ය දෙයකි. බාප්පලා කාඩ් ක්‍රීඩා කරද්දී කුඩා අපට කඩේ ගොස් සිගරට් ගෙන ඒමට සිදුවේ. ත්‍රී රෝසස්, පෝ ඒසස් ඒ අතරින් ප්‍රධානය. මාමලානම් විට කනු දක්නට ලැබිණ.

 පවුල් එක දෙක වශයෙන් පොදු නාන ලිඳට නෑමට යති. පියසිරි බාප්පාගේ ගේ මායිමෙන් යාමට සිදුවේ. බාප්පාගේ පුත්තු මිදුලේ නිතර සෙල්ලම් කරනු දක්නට ලැබේ. පියසරි බාප්පාගේ ලොකු දුව දකින අය කීවේ මේකි ලොකු උන ගමන්ම කුවරුහරි කැන්දා ගෙන යන බවයි. ගුණසිරි බාප්පා නම් නා ගත් පසු පිසදාගන්නේ නැතිවම ගෙදරට පැමිණේ. මගදීම ශරීරය වේලේ. තෙත ඇඳුම් වනනු ලබන්නේ මහ ගෙදර සම්මුඛයේ ඇති ගල් තලාවේය.

 අඹ ගස් සහ කජු ගස් ඉදුණු ගෙඩිවලින් පිරී ඉතිරී ඇත. මම නම් අඹ ගසට නැග ඉදුණු ගෙඩි කඩාගෙන එහිම සිට ලෙල්ල ඇර අඹය කා දමමි. කුඩා සහ ලොකු කජු ගස් තිබුණු හෙයින් බිමට ඇදුණු  අතුපතරේ ඇති පුහුලන් කඩා ගැනීම අපහසු වූයේ නැත. පේර ද කෑවේ ගසේ සිට ම ය. අමර බාප්පා කෙක්කෙන් ඇඹරැල්ලා ගෙඩි කඩා කොටා හැමෝට ම කෑමට සම්බෝලයක් සාදයි.

 සෝමසිරි බාප්පා වඩාත් කැමති කොරපොල් ගැසීමටය. ඒ සඳහා කොරපොල් කල් තියාම සොයා ගනු ලැබේ. මහර-උඩුපිල ක්‍රිකට් සුහද තරඟය අවුරුද්දේ අනිවාර්ය අංගයකි. ඒ සඳහා උඩුපිල මහ ගේ අසල නෑයින් ද සහභාගී විය. වරක් තරඟයක දී විජය බාප්පා සමඟ සෑහෙන ලකුණු ගණනට සම්බන්ධතාවයක් පවත්වන්නට මට හැකි විය. විජය බාප්පා උඩුපිලින් පිට පදිංචිව සිටි බැවින් ක්‍රීඩා කළේ මහර කණ්ඩායමට ය. උස විජය බාප්පා ඉතා පහසුවෙන් පොල්ගස් කරටිවලට උඩින් හයේ පහරවල් එල්ල කළ හැටි මතකය. බොහෝ වෙලාවක් විකට්ටුවේ සිටි හෙයින් නොපෙනෙන මට ද බෝලය පෙනුනේ පුට් බෝලයක් පරිද්දෙනි. විකට්ටුවේ කාලයක් සිටින විට ක්‍රිකට් බෝලය පුට් බෝලයක් ලෙස දිස්වන බව ප්‍රේමසර ඈපාසිංහ කරන ප්‍රකාශය සත්‍ය බව අවබෝධ වූයේ එදිනය. එවිට බැට්එක පන්දුවට පරිදි ක්‍රියාත්මක වේ - දැවී යාමට තිබෙන ඉඩකඩ මගහැරේ. සුදත් පොල් කොටයක් මත හිඳගෙන ඉංග්‍රිසියෙන් විස්තර ප්‍රචාරය කරන්නේ ධර්මදාස මාමාගේ වාග් හැකියාව ප්‍රදර්ශනය කරමිනි. වොලිබොල් ද යම් වසරවලදි ක්‍රීඩා කරන ලදී.

 කාන්තා පාර්ශවය විවිධ කතා බහේ නියැලෙමින් පැමිණ සිටින සියළුම දෙනාටම ආහාර සකසති. එදා විදුලිය තිබුණේ නැත - ඇඳුම් මැද්දේ පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙනි. ලිඳෙන් වතුර ඇද බාල්දි වලින් - කල වලින් කුස්සියට වතුර රැස් කළ යුතුවේ. හවසට පැට්ට්‍රල්මැක්ස් ලාම්පුවට හුලන් ගසා දල්වා සාලයේ මැද එල්ලනු ලැබේ. කාමර සහ කුස්සිය එළිය වන්නේ කුප්පි සහ චිමිණි ලාම්පු වලිනි. එදා තිබූ විශේෂත්වය නම් මෙසේ උයාපිහා-ඇඳුම් මැද උදෙන් ම වැඩට යාමටත් - රාත්‍රිය එලෑඹීමට පෙර මහගෙදරට ඒමටත් හැකියාව පැවතීමය. එකළ තිබුණේ ලංගම බස් පමණය. වර්ථමානයේ පහසුකම් සහිතව වුවද වෙලාවට උදෙන්ම යාමට මෙන්ම රාත්‍රීයට ප්‍රථම නිවසට පැමිණීමට නොහැකි වීම දක්නට ලැබේ. එකළ සීයා ද වැඩ ඇරී කොළඹ සිට හවස හතර හමාර වන විට ගෙදරට පැමිණෙන බව ද මෙහි ලියැවී ඇත.

 ක්‍රිකට් ක්‍රීඩා කළහොත් එදින රාත්‍රිය කුඩා අපට වැඩ වැඩි වේ. ඒ බන්දු බාප්පාගේ කකුල් අත් පා වල ඇතිවන කැක්කුමට ඒවා මසාජ් කිරීමයි. බන්දු බාප්පලා එසේ ක්‍රීඩා කරනුයේ ඒ දිනවල දී පමණි. අමතර වශයෙන් දහවල් කාලයේ දී උකුණන් බැලීමට ද ඉල්ලිම් කෙරේ. උකුණෙකුට ලොකු ගණනක් ලැබෙන අතර ගැටළුව වනුයේ බන්දු බාප්පාගේ හිසෙහි උකුණන් නොමැති වීමයි - එබැවින් අපේ කවුරු හරි අයෙකුගේ උකුණන් ගෙන එය බාප්පාගේ හිසෙන් මතුකර ගැනිම කෙරේ. මෙම හිස බැලීම සීයා ද කරවා ගත් බව පල වී ඇත.

 රබර් ගස් අතර යමින් බිම්පොල් සොයා කෑමට ද, ඇඹුල් පේර වෙරළු ආදී කෑමට ද හැකි විය. ඔට්ටුපාලු සහ රබර් තීර ගලවා ඔතා ඒවායින් බෝල සකස් කර ගැනීමට ද හැකි විය. රබර් ගෙඩි පුපුරණ හඬ නිතරම ඇසේ. රබර් ගෙඩි දෙකක් කෝට්ටකින් සම්බන්ධ කර ගෙන කරත්ත සැකසුවෙමු. හැත්තෑ ගණන්වල උඩුපිල හංදියේ රබර් ඇට මිලදී ගනු ලැබිණ. ඒ ඇටයේ මදෙන් තෙල් හිඳීමටය. අප ද රබර් ඇට එකතු කරගෙන ගොස් මුදල් ලබාගෙන ඇත. ගලට ගොස් උස් ව නැගී ඇති අක්කපාන මල් පොකුරුවල ඇති පොහොට්ටු ඇඟිලි තුඩු වලින් පොඩිකර එහි ශභ්දය ඇසීමට අප පුරුදුව සිටියෙමු. හොර ගෙඩි අසුලාගෙන උඩ විදීම ද තවත් විනෝද ක්‍රියාවකි.

 තව තියාන් තව තියාන්  ඒ හඬ අමර බාප්පාගෙනි. තුන-දෙක ලෙස කොටු හයකින් නිර්මිත සූදූ ක්‍රීඩාවක් අමර බාප්පා පොලේ දී දැක ඇත. එය ඉස්තෝප්පුවේ බිම කෙරේ. එය කළ ආකාරය මුළුමනින් ම අමතක නමුත්, සත 25-50-රුපියල වශයෙන් ඔට්ටු ඇල්ලීම සිදු විය. සැබැවින් ම එය ඔට්ටුවකට වඩා විනෝද ජනක ක්‍රීඩාවක් විය. වරක් අමර බාප්පා සැමට අළුත් ක්‍රීඩාවක් වන චෙස් ක්‍රීඩාව ද උඩුපිලට ගෙන ආවේය. ආච්චී ද චෙස් කළා දැයි මතක නැත. ආච්චී දාම් සෙල්ලම් කරනු දක්නට ලැබී ඇත.

 මේ ආකාරයෙන් නෑයෝ හැමෝම උඩුපිල මහ ගෙදරට එකතුපහදු වූ හ.

න.දී. 2021-04-13



බයිලාවලින් නිමා වූ  අමර බාප්පාගේ දෙවනි ගමන් දිනය

කොරෝනා හේතුවෙන් රැකියාවේ කටයුතු නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමයෙන් කිරීමට රජය නියම කරද්දී එක් වරම මගේ හිතට ආවේ අමර බාප්පා ය. එම ක්‍රමය අප අමර බාප්පා වෙතින් දුටුවේ මීට වසර 30කටත් පෙරාතුවය. ක්ෂේත්‍ර රැකියාවක් කරන අයට එය පහසුවෙන් කළ හැකිය. බාප්පා විවිධ සැලසුම් ගෙදර සිටම කරනු අපි දැක ඇත්තෙමු.

 අමර බාප්පාගේ දෙවනි ගමන සාදයේ මා හට මතක තියෙන්නේ ප්‍රධාන සිද්ධීන් දෙකකි. ඒ 1979 වසර විය හැකිය. එකක් වනුයේ ඊට පෙර දින නව මහ ගෙදර පිළියෙල කිරීමේ අවස්ථාවයි. සාලය ඉස්තෝප්පුව පොලිෂ් කිරීමේ වගකීම කරට ගෙන ක්‍රියා කළේ තුල්සි අයියා සහ තවත් අයියා කෙනෙකි. අනෙක් අයියා ස්ථීරවම කවරෙකදැයි මතක නැත. රෙදි කැබලි වලින් පොලිෂ් තවරා-ඒවා බිම අතුල්ලා දිස්නය දෙන තෙක් අතින්-කකුලෙන් රෙදි කැබලි වලින් මැදීම ලේසි කටයුත්තක් නොවේ. සැලකිය යුතු මහන්සියකින් පසු මහත් රෑබෝවී එම කටයුත්ත නිම කිරීමට ඔවුනට හැකි විය. අපෙන් ඒ සදහා අවැසි වූයේ අල්ප සහයකි. අනික මා ශරීර හොරකි. වැඩේ අවසන් වූ පසු අපි සාලයට ගොස් වැඩේ නිමා ව බැලුවෙමු. කොතරම් හොඳින් පොලිෂ් වී ද යත් සරම ඇදගෙන පවා ඊට උඩින් ගමන් කළ නොහැකි බව තුල්සි අයියා කීවේ සරම පිටින් කුස්සියට යන ගමන් ය. සුදු අයියා කැසට් රේඩියෝව රැගෙන ඇවිත් තිබිණ. ජෝතිපාල ගැන විවිධ වර්ණනා කරමින් සුදු අයියා ජෝතිපාලගේ කැසට් පට එක දිගට දමන්නට විය. අප සිටියේ ඉස්තෝපුවට පිටින් වූ මිදුලේ ගල පැත්තට මුහුණලා ය. සුදු අයියා, මා ඇතුළු පිරිසක් නිදා ගත්තේ මිදුලේ ය. පාන්දර වන විට පුදුම සීතලක් ඇති විය. මා පෙරවාගෙන ද නොසිටියේ ය. පෙරවන සෙවීමට ඇතුළට යාමට ද අවස්ථාවක් නැත. සීතලේ ගැහෙමින් පහන් කිරීම අතිශයන්ම දුෂ්කර අවස්ථාවක් විය. ගල පැත්තෙන් හමා ආ සීතල සුලඟ දුශ්කර බව තවත් තීව්‍ර කළේය.

 පහුවෙනිදා සාදය පැවැත්වුණි. සිරිත් පරිදි අවංක නිළධාරයෙකු වූ මා හට පැවරුණේ සිගරට් ඇල්ලීමේ කාර්යයයි. බොන නොබෙන පිරිමි අය අසලට ගොස් සිගරට් පැකට් එක දික් කිරීම, නැවත නැවත වරින් වර ඒ අයට සිගරට් ඇල්ලීම මා අතින් සිදුවිය. සිගරට් බොන්නන්ගේ විශේෂ උනන්දුවක් පෙර අවස්ථාවල පරිද්දෙන් ම මා වෙත යොමු විය.  නිතරම ප්‍රසන්න සිනහවක් රැඳි මනාළියක් බාප්පා ගෙනවිත් ඇති බව දක්නට ලැබිණ. අමුත්තන් ගිය පසු ඉතිරි පිරිස සාමාන්‍ය පෙනුමට අවතීර්ණ විය. සාලයේ සතුටු සාමිචියට සැලකිය යුතු පිරිසක් සහභාගී විය. කුමක් හෝ හේතුවෙන් බයිලා වාදයකට මුල පිරිණ. අනෙක් සියළුම දෙනා සමග තනිව තරඟ කරන බවට බාප්පා අභියෝග කළෙන් බයිලා සාදය ආරම්භ විය. විවිධ බයිලා ගායනය විය. අභියෝගය කළ පරිද්දෙන්ම ගායනය කිරීමට බාප්පාට බොහෝ බයිලා සතුව තිබිණ. මනමාළිය බාප්පා අසලින් ම වාඩිවී සිනහවෙන් ම බයිලා සාජ්ජය ශ්‍රවණය කරනු දක්නට ලැබිණ. එම බයිලා වාදය මට මතක තිබෙන දෙවන කාරණයයි. එවැන්නක් එවැනි අවස්ථාවක සිදු වීම අතිශයින් විරල අවස්ථාවකි. 

 

න.දී.


[4:48 AM, 1/25/2021] තුල්සි අය්යා

Nadee, 

A day before the wedding, many including your family came and stayed in our grandparents'.

 I remember our sea bath.

 Darmadasa Mama, man who gave me kick to cross oceans, was sailing on Trade Endeavour. Sighting ships on the see, Sudu Aiya and Ajith Aiya talked about supertankers.

Upul and I were the listeners.




උඩුපිල මහගෙදර වැසිකිළිය පෞරාණික ගෙවල් වල සෑදෙන පරිදි ගෙදරට තරමක් දුරින් වූ, වල වැසිකිළියකි. කොන්ක්‍රීට් තට්ටුවට යටින් වලක් ඇති හේතුවෙන් ද, කක්කුස්සි කටේ ප්‍රමණය අනුව මගේ ශරීරයේ ප්‍රමාණය කුඩා නිසැ ද කුඩා මම එය භාවිතා කිරීමට මහත් බියක් දැක්වූයෙමි. කකුල වල තුළට ඇතුළු වී මා වැටී යා හැකියි තිබුණු භීතිකාවයි ඒ. රාත්‍රියේ දී කොහොමත් බය දෙගුණ විය. එබැවින් මගේ වැසිකිළි කාර්යය සඳහා නැන්දලා කරනුයේ දෙල් කොළයක් ගෙදර අද්දර බිම තැබීමයි - මගේ රාත්‍රී වැසිකිළිය වූයේ දෙල් කොළයයි. දෝවනය කරන ලද්දේ නැන්දලා විසිනි.  

න,දී. 2021.04.22


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි